ඉදිරියේදී පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය මාස තුනකට පෙර පැවැත්වීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (24) පාර්ලිමේන්තුවේදී දැඩි විවේචනයක් එල්ල කළේය. විභාගයට මුහුණ දෙන සිසුන් පීඩනයකට ලක් කරමින් මෙවැනි හදිසි කාලසටහන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිවිපාක කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ඔහු අවධාරණය කළේය.
විභාගය පවත්වන්නේ අගමැතිනිය නොවන බවත්, එම අභියෝගයට මුහුණ දෙන්නේ මෙරට අනාගතය භාර දරුවන් බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා, විභාග අපේක්ෂකයින් විසින් මතු කරන සාධාරණ ගැටළු වලට කන් දීම ආණ්ඩුවේ වගකීමක් බව ප්‍රකාශ කළේය. සිසුන්ගේ අධ්‍යාපන අයිතිය සහ මානසික යහපැවැත්ම උකසට තබා ගනිමින් කටයුතු කිරීමේ අවදානම පිළිබඳව ඔහු මෙහිදී දැඩි මතයක් දැරීය.
දරුවන්ගේ අනාගතය තීරණය කෙරෙන වැදගත් සන්ධිස්ථානයකදී මෙවැනි අසංවේදී තීරණ ගැනීම තුළින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීමේ අවදානමක් පවතින බවද ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවීය. සිසුන්ගේ අදහස්වලට ගරු කරමින්, ඔවුන්ගේ අධ්‍යාපන සැලසුම්වලට ගැළපෙන පරිදි විභාග කාලසටහන සකස් කිරීමට රජය මැදිහත් විය යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
















