ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් අද (24) පාර්ලිමේන්තුවේදී සාර්ථකව සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 113ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 10ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 103කින් මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හැකි වී තිබේ. අනතුරුව කාරක සභා අවස්ථාවේදී සිදු වූ සාකච්ඡාවලින් පසු සංශෝධන සහිතව එහි තෙවන වර කියවීම ද සම්මත විය.
මෙලෙස ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරෙන්නේ වසර 26කට පසුව වීම සුවිශේෂී කරුණකි. මීට පෙර 2000 වසරේදී සිදු කරන ලද දෙවන සංශෝධනය සුළු සංශෝධනයක් පමණක් වූ අතර, රටේ පරිසර සංරක්ෂණය සහ කළමනාකරණය සඳහා අවශ්‍ය ප්‍රධාන නෛතික රාමුව මෙන්ම පාරිසරික බලපෑම් ඇගයීම (EIA) සහ පාරිසරික ආරක්ෂණ බලපත්‍ර (EPL) වැනි මෙවලම් හඳුන්වා දෙනු ලැබුවේ 1988 වසරේ සිදු කළ ප්‍රථම සංශෝධනයෙනි. වත්මන් පාරිසරික අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සිදු කළ මෙම නව සංශෝධනය මෙරට පරිසර ආරක්ෂණයට නව පණක් දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















