දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසක පවතින උග්‍ර වන අලි තර්ජනයට ස්ථිර විසඳුමක් ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් අද (24) දඹුල්ල – කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ ‘දෙකේ කණුව’ ප්‍රදේශය අවහිර කරමින් දැවැන්ත විරෝධතාවයක නිරත වුණා. මාස ගණනාවක සිට කණ්ඩලම, ඇරැවුල, සිසිරවත්ත, අතුපාරයාය සහ පහලවැව ආදී ගම්මානවලට රාත්‍රී කාලයේ කඩා වදින වන අලින් වගා බෝග සහ නිවාස විනාශ කරමින් ජන ජීවිත බිල්ලට ගනිමින් සිටින බව ජනතාව පවසනවා.
බලධාරීන්ට වරින් වර පැමිණිලි කළ ද නිසි විසඳුමක් නොලැබීම නිසා ජනතාව පාරට බැසීම හේතුවෙන් දඹුල්ල – කණ්ඩලම – වෑවලවැව මෙන්ම දඹුල්ල – මහියංගණය ප්‍රධාන මාර්ගවල වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වුණා. විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ ප්‍රදේශයට යෝජනා වී ඇති අලි වැට කඩිනමින් ස්ථාපිත කරන ලෙසත්, වන අලින් කළ දේපළ හානිවලට වන්දි ලබාදෙන ලෙසත් ය.
උද්ඝෝෂණය අතරතුර දඹුල්ල නගරාධිපති වසන්ත කුමාර රාජමන්ත්‍රී මහතා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පැමිණ සාකච්ඡා කළ අතර, ලබන සිකුරාදා (26 වැනිදා) මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ස්ථිර විසඳුමක් දෙන බවට පොරොන්දු වුණා. එම පොරොන්දුවත් සමඟ සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් විරෝධතාව තාවකාලිකව අත්හිටුවීමට ජනතාව පියවර ගත්තා.
















