දිවයින පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවත්, කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රෝහල් රැසක රෝගීන් ඇතුළත් කිරීමේ ධාරිතාව උපරිම මට්ටමට පැමිණ ඇති බවත් ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.
මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 48,287කි. ජූනි මාසයේදී පමණක් රෝගීන් 14,446ක් වාර්තා වී තිබේ. අවාසනාවන්ත ලෙස ජීවිත 29ක් අහිමි වී ඇති අතර, ඉන් පස් දෙනෙකුම වයස අවුරුදු පහට අඩු කුඩා දරුවන් වේ. පසුගිය පැය 24 තුළ පමණක් අලුතින් රෝගීන් 757ක් වාර්තා වී ඇත. රෝගීන්ගෙන් 52.12%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වේ.
IDH, කළුබෝවිල, හෝමාගම, මාතර, කොළඹ ජාතික රෝහල සහ රාගම යන ප්‍රධාන රෝහල් දැනටමත් උපරිම ධාරිතාවෙන් සේවය සපයයි. රෝගීන් තවදුරටත් ඉහළ ගියහොත් සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමේ අවදානමක් පවතී.
පළාත් 6ක් ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරී වසම් 600ක් කේන්ද්‍ර කර ගනිමින් දින තුනක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර ඇත. පාසල් සහ පොදු ස්ථාන පිරිසිදු කිරීම මෙන්ම ධූමායනය කිරීම සිදු කෙරේ. කොළඹ අධි අවදානම් කලාපවල ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් මදුරු කීටයන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත. පසුගිය සති දෙක තුළ පමණක් ස්ථානීය දඩ සහ නඩු පැවරීම් ඇතුළුව පුද්ගලයින් 4,000කට අධික පිරිසකට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ. පාසල්, පන්සල් සහ හිස් ඉඩම්වල මදුරු කීටයන් පවතින්නේ නම් ඒවායේ වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව තරාතිරම නොබලා නඩු පැවරීමට කටයුතු කරයි.
තමන්ගේ නිවස සහ අවට පරිසරය මදුරුවන් බෝ නොවන ලෙස පිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්න. මදුරුවන් දිවා කාලයේදී දෂ්ට කරන බැවින්, ශරීරය හොඳින් වැසෙන සේ ඇඳුම් ඇඳීම දරුවන් සහ වැඩිහිටියන් යන දෙපාර්ශවයටම වැදගත් වේ. මෙම රෝගය තුරන් කිරීම රටේ සියලුම පුරවැසියන්ගේ වගකීමක් බැවින්, නිලධාරීන් සිදු කරන පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා උපරිම සහයෝගය ලබා දෙන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී.
















