මත්පැන් සහ දුම්කොළ භාවිතයෙන් සිදුවන හානිය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහන් මාලාවක් කුරුණෑගල, පොළොන්නරුව සහ මහනුවර යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පසුගිය සතියේ ක්‍රියාත්මක විය. මෙම වැඩසටහන් සඳහා එක්වූ තරුණ කණ්ඩායම් විසින් මත්පැන් භාවිතය වටා ගොඩනැගී ඇති සමාජීය සම්මතයන් සහ වැරදි මතවාද අභියෝගයට ලක් කරමින් ජනතාවගේ විවේචනාත්මක චින්තනය දිරිගැන්වීමට කටයුතු කර තිබේ.
මෙම සමාජ දැනුවත් කිරීමේ මෙහෙයුමට සමගාමීව, මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) විසින් ශ්‍රී ලංකාවේ දුම්කොළ භාවිතය පිළිබඳව දත්ත වාර්තාවක් ද නිකුත් කරන ලදී. එම දත්තවලට අනුව:
ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් දිනකට රුපියල් මිලියන 520ක මුදලක් දුම්වැටි සඳහා වැය කරන අතර, 2019 වසරේදී පමණක් දුම්පානය හේතුවෙන් සිදුවූ සෞඛ්‍ය සහ ආර්ථික පිරිවැය රුපියල් බිලියන 214ක් වේ.
2020 ගෝලීය වැඩිහිටි දුම්කොළ සමීක්ෂණයට අනුව, ශ්‍රී ලංකාවේ මිලියන 3.2ක් දිනපතා දුම්කොළ භාවිත කරන අතර, වාර්ෂිකව සිදුවන නොමේරූ මරණ 20,000කට දුම්කොළ හේතු වේ.
වසරකට ප්ලාස්ටික් දුම්වැටි පෙරහන් බිලියන 1.8ක් පමණ නිසි ලෙස බැහැර නොකිරීම හේතුවෙන් විෂ රසායනික ද්‍රව්‍ය 7,000ක් පරිසර පද්ධතියට එක්වී දැඩි පාරිසරික හානියක් සිදු කරයි.
නිසි බදු එකතු කිරීමේ යාන්ත්‍රණයක් නොමැති වීම නිසා 2024 වසරේදී රජයට රුපියල් බිලියන 9.4ක බදු ආදායමක් අහිමි වී ඇති අතර, එම මුදල නිෂ්පාදකයාගේ ලාභය ලෙස හිමිව තිබේ.
දුම්වැටි මත බදු අඩු කිරීමෙන් සිගරට් ජාවාරම් අඩු වන බවට පවතින මතය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජාතික දුම්කොළ හා මද්‍යසාර අධිකාරියේ (NATA) සභාපති ආචාර්ය ආනන්ද රත්නායක මහතා පෙන්වා දෙයි.
















