පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් පොලිස් මෙහෙයුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මතු කළ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ආනන්ද විජේපාල මහතා පැවසුවේ, කිසිදු අහිංසක පුරවැසියෙකු මත්ද්‍රව්‍ය හෝ වෙනත් ජාවාරම්වලට පටලවා අත්අඩංගුවට ගැනීමට රජය කිසිසේත් ඉඩ නොතබන බවයි.
පසුගිය දිනක දැරණියගල ප්‍රදේශයේදී පොලීසිය සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීම පිළිබඳව ද අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ, පොලීසිය අතින් යම් වරදක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේ වන විටත් පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. කිසිදු අහිංසක පුරවැසියෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොදෙන බව ඔහු එහිදී අවධාරණය කළේය.
අතීතයේ පැවති ආකාරයේ සංදර්ශනාත්මක පොලිස් මෙහෙයුම් මේ වන විට මුළුමනින්ම අවසන් කර ඇති බවත්, නීත්‍යානුකූල හා සාධාරණ ක්‍රියාවලියක් ඔස්සේ පමණක් කටයුතු කරන ලෙස පොලීසියට දැඩි උපදෙස් ලබා දී ඇති බවත් ආනන්ද විජේපාල මහතා පෙන්වා දුන්නේය. පොලීසියට අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට කිසිදු අයිතියක් නොමැති බවද ඔහු පැහැදිලි කළේය.
එසේම, අතීතයේදී මෙන් ජාවාරම්කරුවන් දේශපාලඥයන්ගේ සෙවණේ රැකවරණය ලැබූ යුගය මේ වන විට අවසන් වී ඇති බවත්, නීතිය ඉදිරියේ සියලු කටයුතු ඉතා සාධාරණව සහ විනිවිදභාවයෙන් යුතුව සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















