මෙවර යල කන්නය සඳහා අවශ්‍ය පොහොර තොග කිසිදු හිඟයකින් තොරව රට තුළ පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය නිවේදනය කරයි. එම කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, ඇස්තමේන්තු කර තිබූ ඉලක්කයන් ඉක්මවා යන ප්‍රමාණයක් මේ වන විටත් ගොවීන් වෙත බෙදා හැරීමට කටයුතු කර ඇති බවයි. ඉදිරි කාලසීමාව තුළ අවශ්‍යතාවය මත තවදුරටත් පොහොර තොග ආනයනය කිරීමේ පියවර මේ වන විටත් සැලසුම් කර ඇත.
අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛනවලට අනුව, මෙවර යල කන්නයේ යුරියා පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 125,000ක් ලෙස ඇස්තමේන්තු කර තිබූ අතර, ඉන් මෙට්‍රික් ටොන් 120,000ක් මේ වන විටත් බෙදාහැර අවසන්ය. තවදුරටත් ගබඩාවල මෙට්‍රික් ටොන් 32,000ක යුරියා තොගයක් පවතින අතර, ඉදිරි සතියේදී තවත් මෙට්‍රික් ටොන් 17,000ක් දිවයිනට ලැබීමට නියමිතව ඇත. TSP සහ MOP පොහොර වර්ග සම්බන්ධයෙන් ද සමාන තත්ත්වයක් පවතින අතර, කන්නයේ අවශ්‍යතාවලට සරිලන පරිදි ප්‍රමාණවත් තොග සමාගම් සතු සහ ආනයනය වෙමින් පවතින බව තහවුරු කෙරේ.
ගොවි ජනතාවගේ වගා කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය පසුබිම රජය විසින් සකසා ඇති බවත්, පොහොර බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත්ව පවත්වාගෙන යන බවත් බලධාරීන් පවසයි. පසුගිය මාස කිහිපය තුළ මෙන්ම ඉදිරියටත් පොහොර සැපයුම අඛණ්ඩව සහ ස්ථාවරව පවත්වා ගැනීමට පියවර ගෙන ඇති බැවින්, ගොවීන්ට කිසිදු සැකයකින් තොරව තම වගා කටයුතු සිදු කළ හැකි බව වැඩිදුරටත් සඳහන් වේ.
















