ආරක්ෂිත වන සතුන්ගේ ශරීර කොටස් සන්තකයේ තබා ගැනීම සහ ඒවා අලෙවි කිරීමට උත්සාහ කිරීමේ චෝදනාවකට වරදකරුවන් වූ වාරියපොළ සහ මිනුවන්ගැටේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුට වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණය විසින් එක් අයෙකුට රුපියල් 450,000 බැගින් දඩ නියම කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ඇත් දළයක්, කොටියෙකුගේ දළයක් සහ කළු කොරල් පරයක කොටසක් සොයාගෙන ඇති අතර, මේවා ශ්‍රී ලංකාවේ පවතින නීතිය යටතේ දැඩි ලෙස ආරක්ෂා කර ඇති ද්‍රව්‍ය වේ.
කුරුණෑගල වනජීවී කාර්යාලයේ සහ රිටිගල වනජීවී රක්ෂිතයේ නිලධාරීන් විසින් පසුගිය මැයි 04 වන දින වාරියපොළ පොලිස් වසමේ මිනුවන්ගැටේ, 20 කණුව ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. අධිකරණයේදී චෝදනා ඔප්පු වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම දඩ නියෝගය ලබා දෙන ලදී.
















