ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ සංගමයේ (SLRA) 9 වන වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ, ජාතික ආර්ථිකයේ ප්‍රධාන බලවේගයක් වන සිල්ලර වෙළඳ ක්ෂේත්‍රය සමඟ රජය වඩාත් සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි. කොළඹ හිල්ටන් රෙසිඩන්ස් හිදී පැවති මෙම උත්සවයේදී ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් රැසක් එක්ව සිටි අතර, එහිදී නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ද පත් කෙරිණි.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 20%කට වඩා වැඩි ප්‍රතිශතයක් සිල්ලර වෙළඳ ක්ෂේත්‍රයෙන් ලැබෙන බවත්, ලක්ෂ 20කට ආසන්න පිරිසකට මෙයින් රැකියා අවස්ථා උදාවී ඇති බවත්ය. කෙසේ වෙතත්, රට තුළ ලියාපදිංචි ව්‍යාපාර 65,000ක් පමණ ඇතැයි ඇස්තමේන්තුගත වුවද, කුඩා ග්‍රාමීය වෙළඳසැල් සිට විශාල ව්‍යාපාරික ආයතන දක්වා බොහෝ පිරිසක් තවමත් විධිමත් ලියාපදිංචි ක්‍රමවේදයෙන් පිටත පවතින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම, කිසිදු ලියාපදිංචියකින් හෝ බදු අනුකූලතාවයකින් තොරව අන්තර්ජාල වේදිකා හරහා සිදු කෙරෙන ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී දැඩි අවධානයක් යොමු කළේය. එවැනි අක්‍රමවත් මාර්ගගත ගනුදෙනු හේතුවෙන් මීට පෙර අමෙරිකානු ඩොලර් මිලියන 780ක් පමණ විදේශ විනිමය රටින් පිටතට ගලා ගොස් ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඔන්ලයින් වාණිජ කටයුතු නියාමනය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.
“ව්‍යාපාර විධිමත් කිරීමෙන් ව්‍යවසායකයින්ට සහ රටට ලැබෙන ප්‍රතිලාභ ඉහළයි. සිල්ලර වෙළඳ ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වයන් විධිමත් ක්‍රමවේදයකට අනුගත කිරීම දේශීය ආර්ථික සංවර්ධනයට සුවිශේෂී දායකත්වයක් වනු ඇති බව මගේ විශ්වාසයයි,” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. පාරිභෝගික විශ්වාසය ආරක්ෂා කරමින් වෙළඳපල තුළ සමබරතාවයක් පවත්වා ගැනීමට සිල්ලර වෙළඳ සංගමය ඉටු කරන කාර්යභාරය අමාත්‍යවරයා මෙහිදී ඇගයීමට ලක් කළේය.
















