2026 වසරේ රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර අටමස්ථානය, මිහින්තලය සහ තන්තිරිමලය රජමහ විහාරය කේන්ද්‍ර කරගනිමින් ජූනි 26 වන දා සිට ජූලි 02 වන දා දක්වා උත්සවාකාරයෙන් පැවැත්වීමට නියමිතය. ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් පුළුල් ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන කළමනාකරණ සැලැස්මක් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.
සමස්ත පූජා නගරය ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 3,500කට අධික සංඛ්‍යාවක් රාජකාරියේ යොදවා ඇති අතර, පොලිස් වසම් තුළ නිරන්තර ජංගම සහ පාමුර සංචාර ක්‍රියාත්මක වේ. බැතිමතුන් ගැවසෙන ස්ථානවල නිරීක්ෂණ කුළුණු ස්ථාපිත කර ඇති අතර, වැව් සහ ජලාශ 24ක් ආවරණය වන පරිදි නාවික සහ ජීවිතාරක්ෂක නිලධාරීන් 270 දෙනෙකු සක්‍රීය සේවයේ යොදවා ඇත. හදිසි ආපදා තත්ත්වයන් පාලනය කිරීම සඳහා නාවික හමුදාව සහ ස්වේච්ඡා කණ්ඩායම්වල සහයෝගය ද ලබාගෙන ඇති අතර, ජලය භාවිත කරන ස්ථාන බෝයා මගින් වෙන් කර ආරක්ෂිත කලාප ලෙස නම් කර ඇත.
රථවාහන සැලැස්ම කලාප 10ක් යටතේ ක්‍රියාත්මක වන අතර, පූජා නගරයට රථවාහන ඇතුළු කිරීම ඒකමාර්ගික ක්‍රමයට සීමා කර ඇත. පුත්තලම, කුරුණෑගල, දඹුල්ල, පොළොන්නරුව සහ විලච්චිය දෙසින් පැමිණෙන රථවාහන සඳහා පණ්ඩුලගම, පොතානේගම, ජයන්ති වටරවුම සහ ලෝලුගස්වැව යන ස්ථාන හරහා ප්‍රවේශ වීම අනිවාර්ය කර ඇත. රථවාහන පිටවීමේදී යාපනය හන්දිය හෝ මාකට් හන්දිය භාවිතා කළ යුතු අතර, බැතිමතුන්ගේ වාහන ගාල් කිරීම සඳහා අටමස්ථානය වටා ප්‍රධාන රථගාල් 21ක් වෙන් කර තිබේ.
මෙම උත්සව සමයේ සෞඛ්‍යාරක්ෂාව සහ හදිසි ප්‍රතිකාර අවශ්‍යතා වෙනුවෙන් අනුරාධපුර පොලිස් ස්ථානය, ඉසුරුමුණිය, යාපනය හන්දිය ඇතුළු ප්‍රධාන ස්ථාන රැසක ගිලන් රථ පහසුකම් ස්ථානගත කර ඇත. බැතිමතුන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් නිරන්තර දැනුවත් කිරීම් සිදු කෙරෙන අතර, තදබදයකින් තොරව පොසොන් වන්දනාවේ නිරත වීමට රථවාහන උපදෙස් සහ පොලිස් සංඥා නිවැරදිව අනුගමනය කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.
















