රාජ්‍ය ණය ගෙවීම් සඳහා මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කළ විශේෂ වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, අදාළ සිදුවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව ඉදිරිපත් කළ වාර්තා පදනම් කර ගනිමින් සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව කරුණු විමර්ශනය කෙරිණි.
මීට පෙර මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් අදාළ අස්ථානගත වීම පිළිබඳව වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කර තිබූ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් විසින් එය වැඩිදුර පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව සිය නිර්දේශ සහිත නව වාර්තාවක් මෙලෙස කාරක සභාවට භාර දෙන ලදී. මෙම සාකච්ඡාව සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) නියෝජිතයින් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
කරුණු ඉදිරිපත් කිරීම සහ වාර්තා සැසඳීමෙන් අනතුරුව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා පවසා සිටියේ අදාළ පාර්ශ්වයන් ඉදිරිපත් කළ වාර්තා දෙකම පදනම් කර ගනිමින් කාරක සභාව විසින් අවසන් වාර්තාවක් සකස් කරනු ඇති බවයි. මෙම අස්ථානගත වීම සිදුවූයේ කෙසේද සහ ඊට වගකිවයුතු පාර්ශ්ව කවුරුන්ද යන්න පිළිබඳ සත්‍ය තත්ත්වය අනාවරණය කරගැනීම සඳහා මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඉතා වැදගත් වනු ඇත.
















