ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යන සෑම අවස්ථාවකදීම එහි වාසිය පාරිභෝගික ජනතාවට අනිවාර්යයෙන්ම ලබා දීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඉන්ධන මිල වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව පැවසූ අමාත්‍යවරයා, මිල ගණන් තීරණය කිරීම ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන් මත පදනම් වන බව පෙන්වා දුන්නේය.
මෙම කතාවේ ප්‍රධාන කරුණු:
වත්මන් ඉන්ධන සහනාධාරය අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, දැනට ඩීසල් සඳහා රුපියල් 100ක සහ පෙට්‍රල් සඳහා රුපියල් 20ක සහනාධාරයක් ලබා දේ. සහනාධාර ලබාදීම නතර කිරීමේ සූදානමක් නොමැති බව ඇමැතිවරයා අවධාරණය කළේය.
ඉන්ධන සහනාධාරය සඳහා කැබිනට් මණ්ඩලය විසින් බිලියන 57ක මුදලක් වෙන් කර ඇති අතර, එම මුදල තවමත් සම්පූර්ණයෙන්ම භාවිත කර නොමැත.
මාර්තු මාසයේ සිට මෙරට ඉන්ධන මිල ඉහළ ගියේ මැදපෙරදිග කලාපයේ ඇතිවූ යුද්ධය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑම නිසා බවත්, ලෝක වෙළෙඳපොළේ මිල අඩුවන විට එම සහනය පාරිභෝගිකයා වෙත අනිවාර්යයෙන්ම මාරු කරන බවත් ඔහු සහතික කළේය.
















