ශ්‍රී ලංකාවේ බුදු දහම සුරැකීම සඳහා හදිසි ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බවත්, භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් වාර්තා වන විවිධ අකටයුතුකම් පිළිබඳ චෝදනා හේතුවෙන් විශේෂයෙන්ම තරුණ පරපුර අතර පවතින මහජන විශ්වාසය බිඳවැටෙමින් පවතින බවත් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
විශේෂ වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇය මේ බව සඳහන් කළේය. එම ප්‍රකාශයේ ඇතුළත් ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය:
මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ චෝදනා මත භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීම සහ වසර දෙකක කාලයක් තුළ දැරියකට අතවර කළ බවට විහාරාධිපති හිමිනමකට එල්ල වී ඇති චෝදනා වැනි සිදුවීම් බෞද්ධ ජනතාවගේ විශ්වාසය බිඳ දමා ඇති බව ඇය පෙන්වා දෙයි.
මෙවැනි වැදගත් සමාජ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් දේශපාලන නායකයින් නිහඬව සිටීම සම්බන්ධයෙන් ඇය සිය කලකිරීම ප්‍රකාශ කළාය.
භික්ෂූන් වහන්සේලා තුළ අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ සිදුකිරීමේ මූලිකත්වය ගන්නා ලෙස ඇය උසස් භික්ෂූන් වහන්සේලාට ලිඛිතව දැනුම් දී ඇත. මේ සඳහා උන්වහන්සේලාගෙන් සාධනීය ප්‍රතිචාර ලැබී ඇති බව ඇය පවසයි. ඒ අනුව උසස් භික්ෂූන් වහන්සේලා, සිවිල් සමාජ නියෝජිතයින් සහ අනෙකුත් ආගමික නායකයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ප්‍රතිසංස්කරණ නිර්දේශ කිරීමට ඇය යෝජනා කරයි.
මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව සකස් කරන ලෙස ඇය රජයෙන් ඉල්ලා සිටියි. බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට සහ මහජන විශ්වාසය යළි ගොඩනැගීමට ශක්තිමත් යාන්ත්‍රණයක් අත්‍යවශ්‍ය බව ඇය අවධාරණය කරයි.
අකටයුතුකම්වලට එරෙහිව නිහඬව නොසිටින ලෙසත්, ආගමික ආයතන ආරක්ෂා කර ගැනීම නායකයින්ගේ සහ පුරවැසියන්ගේ හවුල් වගකීමක් බවත් ඇය වැඩිදුරටත් කියා සිටී
















