වෙරිටේ රිසර්ච් ආයතනයේ නවතම දත්ත වාර්තාවකට අනුව, 2023 වසරේ හඳුන්වා දුන් 20%ක දුම්වැටි බදු වැඩිවීමෙන් පසු පාරිභෝගිකයන් මිලෙන් අඩු දුම්වැටි වෙත යොමුවීම හේතුවෙන්, 2024 වසරේදී පමණක් රජයට රුපියල් කෝටි 940ක බදු ආදායමක් අහිමි වී තිබේ. මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ පවතින මෙම ස්ථරගත බදු ව්‍යුහය හේතුවෙන් රාජ්‍ය ආදායම පහළ වැටෙද්දී දුම්කොළ නිෂ්පාදන සමාගම් සිය ලාභය නොකඩවා පවත්වා ගැනීමට හෝ ඉහළ නංවා ගැනීමට සමත්ව ඇති බවයි.
2022 වසරට සාපේක්ෂව 2024 වන විට දුම්වැටි අලෙවිය මිලියන 521.5කින් (18%) පහළ ගියද, රජයේ බදු ආදායම රුපියල් කෝටි 770කින් පමණක් ඉහළ යාම මෙම බදු ප්‍රතිපත්තියේ ඇති අකාර්යක්ෂමතාව මනාව පැහැදිලි කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ රාමුගත සම්මුතියට (FCTC) අනුව, පාරිභෝගිකයන් මිලෙන් අඩු වෙළඳ නාම වෙත මාරුවීම වැළැක්වීමට නම් ඒකාබද්ධ බදු ක්‍රමයක් හඳුන්වා දිය යුතුය. එහෙත් ශ්‍රී ලංකාව එවැනි ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම නිසා බදු ප්‍රතිපත්තියේ සැබෑ අරමුණ ඉටු නොවී පවතී.
වෙරිටේ රිසර්ච් පෙන්වා දෙන පරිදි, 2017 සිට 2024 දක්වා කාලය තුළ රජයේ දුම්වැටි බදු ආදායම ඉහළ ගොස් ඇත්තේ 27.5%කින් පමණක් වුවත්, ලංකා දුම්කොළ සමාගමේ බදු රහිත ශුද්ධ ආදායම 92.4%කින් ඉහළ ගොස් තිබේ. තවද, 2025 වසරේදී අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගියද දුම්වැටි බදු එම වේගයෙන් ඉහළ නොදැමීම නිසා, දුම්වැටි නිෂ්පාදනය 5%කින් ඉහළ ගොස් පෙර පැවති පහළ යාමේ ප්‍රවණතාව ආපසු හැරී ඇත. රාජ්‍ය ආදායම සහ සමාගම් ලාභය අතර පවතින මෙම දැවැන්ත පරතරය රටේ ආර්ථිකයට සහ මහජන සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් බව විශේෂඥයෝ අනතුරු අඟවති.
















