වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා පනවා ඇති සමාජ මාධ්‍ය තහනම තවදුරටත් ශක්තිමත් කිරීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගනිමින් සිටින බව අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කර තිබේ. පනවා ඇති නීති හැකිතාක් ශක්තිමත් කර ඕනෑම නීතිමය අභියෝගයකට ඔරොත්තු දිය හැකි අයුරින් සකස් කිරීම සහ රටේ ‘eSafety’ කොමිසමට ඒ සඳහා ප්‍රමාණවත් බලතල ලබාදීම රජයේ අරමුණ බව ඔහු සඳහන් කළේය.
මෙම නීතිය යටතේ Meta සමාගමට අයත් ඉන්ස්ටග්‍රෑම් (Instagram) සහ ගූගල් සමාගමට අයත් යූටියුබ් (YouTube) වැනි ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකාවල ළමයින්ට ගිණුම් පවත්වාගෙන යාම සීමා කෙරේ. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකරන සමාජ මාධ්‍ය සමාගම්වලට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 49.5ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 34ක) උපරිම දඩ මුදලක් පැනවිය හැකි බව ද බලධාරීන් පවසයි.
කෙසේ වෙතත්, මෙම තහනම ක්‍රියාත්මක කර මාස කිහිපයක් ගතව තිබියදීත්, වයස අවුරුදු 12-15ත් අතර දරුවන්ගෙන් 85%ක්ම වයස වෙනස් කරමින් හෝ විවිධ උපක්‍රම මඟින් තවමත් සමාජ මාධ්‍ය භාවිතා කරන බව අලුත්ම අධ්‍යයනයකින් හෙළි වී ඇත. මේ අතර, Reddit සමාගම මෙම නීතියට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් ද ගොනු කර තිබේ.
















