දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කරමින්, කර්මාන්තකරුවන් ශක්තිමත් කර ඔවුන් අපනයන වෙළෙඳපොළට යොමු කිරීම මගින් මෙරට ඩොලර් ආදායම ඉහළ නංවා ගැනීම රජයේ ප්‍රධාන ඉලක්කය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රබර් සහ තේ නිෂ්පාදන හා අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ කර්මාන්තකරුවන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.
ආයෝජනයට සහ වෙළෙඳපොළ ජය ගැනීමට සූදානම් පිරිසට රජයේ උපරිම සහය ලබා දෙන බවත්, දැනට පවතින විදේශ ණය පීඩනයෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන මත යැපීමෙන් මිදීමට ඇති එකම මාවත දේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
සාකච්ඡාවේදී අවධානය යොමු වූ ප්‍රධාන කරුණු:
රබර් සහ තේ කර්මාන්තය නඟා සිටුවීම සහ අපනයන ආදායම ඉහළ නංවා ගැනීම වෙනුවෙන් 2026 – 2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්මට සමගාමීව නව උපායමාර්ගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා විය.
නිෂ්පාදන ධාරිතාව සහ දත්තවල වැදගත්කම පැහැදිලි කළ ජනාධිපතිවරයා, නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් සරල හා කාර්යක්ෂම විය යුතු බවත්, කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු හඳුනා ගැනීමට අවශ්‍ය සියලු දත්ත රජය වෙත ලබා දෙන ලෙසත් දැනුම් දුන්නේය. පොහොර සහ අනෙකුත් යෙදවුම් ලබා දීමේදී ඒවායේ ප්‍රතිඵල සහ අපනයන ආදායම අතර පවතින සබඳතාව විද්‍යාත්මකව විශ්ලේෂණය කළ යුතු බවද ඔහු පැවසීය.
දේශීය කර්මාන්තකරුවන් දිරිගැන්වීමේදී ශුද්ධ ඩොලර් ආදායම වැඩි කර ගැනීම කෙරෙහි මූලික අවධානය යොමු කළ යුතුය. අමුද්‍රව්‍ය ගෙන්වීමට වැය වන ඩොලර් ප්‍රමාණය සහ නිෂ්පාදන අපනයනයෙන් නැවත රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය අතර පරතරය නිවැරදිව කළමනාකරණය කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
රබර් ක්ෂේත්‍රයේ විභවතාවයන් සහ බාධාවන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. අගය එකතු කිරීම් සමඟ රබර් කර්මාන්තයෙන් 2030 වසර වන විට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 03කින් පමණ ඉහළ නංවා ගැනීමේ හැකියාව පවතියි. භූමිය සීමිත වීම සහ ශ්‍රමික හිඟය වැනි බාධාවන් ජය ගැනීමට අඩු ආදායම්ලාභීන් වගාවන් සඳහා සම්බන්ධ කර ගැනීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ද සාකච්ඡා විය.
තේ අපනයනකරුවන් පෙන්වා දුන්නේ ඉරාන වෙළෙඳපොළ සහ මැදපෙරදිග පවතින තත්ත්වය හේතුවෙන් තේ අපනයන සඳහා පිරිවැය සහ කාලය ඉහළ ගොස් ඇති බවයි
















