මත්ද්‍රව්‍ය භාවිතය සහ ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව, මහජනතාව දැනුවත් කිරීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද දැවැන්ත පා ගමනක් පසුගියදා කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පවත්වා තිබේ.
පසුගිය 2025 ඔක්තෝබර් 30 වැනිදා ආරම්භ කළ ‘ඉවත් වනු’ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව, මෙම දැනුවත් කිරීමේ වැඩසටහන රට පුරා පිහිටි සියලුම පොලිස් ස්ථාන මගින් ද ක්‍රියාත්මක කර ඇත.
කොළඹ නගරයේ පැවති ප්‍රධාන පා ගමන “මතින් තොර දේශයක් කරා අභිමානවත්ව පිය නඟමු” යන ආදර්ශ පාඨය පෙරදැරිව නොමෑඩ්ස් ක්‍රීඩාංගණයේ සිට කොල්ලුපිටිය මංසන්ධිය දක්වා ගමන් කළේය.
පා ගමනට සහභාගී වූ ආයතන හා විශේෂාංග:
මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පුනරුත්ථාපනය කිරීමේ කාර්යාංශය සහ ජාතික තරුණ සේවා සභාව ඇතුළු ආයතන රැසක නිලධාරීන් සහ නියෝජිතයන් මීට එක්ව සිටියහ. පොලිස් සහ නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම් සහ තරුණ සේවා සභාවේ නර්තන කණ්ඩායම් පා ගමනට වර්ණවත් බවක් එක් කළහ.
පා ගමන අතරතුර මත්ද්‍රව්‍ය මර්දනය සඳහා තොරතුරු සැපයීමට ඇති “1818” ක්ෂණික දුරකථන අංකය සහ පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදා දීම ද සිදු කෙරිණි.
මෙම අවස්ථාවට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
















