වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ ආහාර ද්‍රව්‍ය අඩංගු බහලුම් වරායෙන් නිදහස් කිරීම ප්‍රමාද වීමෙන් සිදුවන මූල්‍යමය පාඩුව අවසානයේ පාරිභෝගිකයාට දැරීමට සිදුවන බවයි. මේ හේතුවෙන් එම නිදහස් කිරීමේ කටයුතු ප්‍රමාද නොකර කඩිනමින් සිදු කිරීමට නිලධාරීන් අවධානය යොමු කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කරයි.
ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී රේගු නිෂ්කාශනයට අමතරව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, නිරෝධායන අංශ සහ ආහාර පාලන ඒකකය වැනි විවිධ රජයේ ආයතන මගින් භාණ්ඩ පරීක්ෂා කර නිදහස් කර ගැනීමට කල්ගත වීම නිසා ආනයනකරුවන් ගැටලු රැසකට මුහුණ දෙන බව පසුගියදා (25) වෙළෙඳ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය විය.
මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා ආනයන සහ අපනයන ක්‍රියාවලියේදී විවිධ ආයතන හරහා සිදුවන ලිපි ලේඛන පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමටත්, ව්‍යාපාරිකයන්ට සිදුවන කාලය සහ මුදල් නාස්තිය අවම කිරීමටත් ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීමට උපදෙස් දුන්නේය. සහල් ආනයනයේදී එකම සාම්පලයට ස්ථාන දෙකකින් වෙනස් වාර්තා ලැබුණු සිදුවීමක් උදාහරණයක් ලෙස දක්වමින්, පරීක්ෂණාගාර කටයුතු කඩිනම් කිරීම මෙන්ම ඒවා ඇගයීමට ලක් කර ප්‍රමිතිගත කිරීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය.
තවද, ආනයනකරුවන් භාණ්ඩ අඩු මිලට ලබා දීමට පමණක් නොව, පාරිභෝගිකයාට සුදුසු ගුණාත්මක භාවයෙන් යුතු ආහාර සැපයීමට වගබලා ගත යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය. එසේම, පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය රට තුළට ගෙන ඒම වැළැක්වීමට ආනයනකරුවන් සංගමයක් ලෙස වගකීමෙන් කටයුතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ආනයනකරුවන් මුහුණ දෙන ගැටලු සෘජුවම අදාළ ආයතනවල නිලධාරීන් වෙත ඉදිරිපත් කෙරුණු අතර, අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් එම ගැටලු විසඳීම සඳහා අවශ්‍ය තීරණ වලට එළඹුණි.
















