නීති විරෝධී මත්පැන් වැටලීමක් සඳහා දියගම, ගල්පාත ප්‍රදේශයේ නිවසකට ගිය අඟුරුවාතොට පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට නිවසේ සිටි බල්ලන් අටදෙනෙකු (08) මුදාහැර සපා කෑමට සැලැස්වූ යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ. බල්ලන්ගේ සපා කෑම හේතුවෙන් අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් දෙදෙනෙකු කළුතර නාගොඩ ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත.
කසිප්පු මිලිලීටර් 1000ක් ද සමඟ දකුණු කළුතර පොලිසියට භාර වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ 40 හැවිරිදි සැකකරු සහ 36 හැවිරිදි ඔහුගේ බිරිඳ, රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කළුතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. පොලිස් රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරය පෑ මෙම සැකකාර යුවළට එරෙහි නඩුව ලබන ජූලි මස 10 වැනිදා නැවත විභාගයට ගැනීමට නියමිතය.
















