මාර්තු 7 සහ 9 යන දිනවල ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරානයේ ඓතිහාසික නගරයක් වන ඉස්ෆහාන්හි පිහිටි ලෝක ප්‍රසිද්ධ සංස්කෘතික උරුම ස්ථාන රැසකට හානි සිදුව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ප්‍රහාර හේතුවෙන් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් නක්ෂ්-ඊ ජහාන් චතුරශ්‍රය සහ 17 වන සියවසේ ඉදිකළ චෙහෙල් සොටවුන් මාලිගය ඇතුළු ඓතිහාසික ස්ථාන රැසක් දැඩි කම්පනයට ලක්වී ඇති අතර, වසර 400කට ආසන්න පැරණි රාජකීය සංකීර්ණයක කොටස්වලට ද හානි සිදුව තිබේ.
රොයිටර් මාධ්‍යවේදීන් සිදුකළ නිරීක්ෂණවලට අනුව ඉස්ෆහාන් සහ ටෙහෙරාන් නගරවල පිහිටි ඓතිහාසික ගොඩනැගිලි 11කට මෙම ප්‍රහාරවලින් හානි සිදුව ඇත. මේ වනවිට ඉරානයේ සංස්කෘතික හා ආගමික වැදගත්කමක් ඇති ස්ථාන 7කට හානි සිදුව ඇති බව තහවුරු කර ඇති යුනෙස්කෝ සංවිධානය, එම හානි චන්ද්‍රිකා ඡායාරූප මගින් තවදුරටත් තක්සේරු කරමින් පවතී. ජාත්‍යන්තර නීතියට ගරු කරමින් සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස යුනෙස්කෝව ගැටුමට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.
















