ශ්‍රී ලංකාවේ වත්මන් සාර්ව ආර්ථික වර්ධනය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිස සිය නිල සංචාරය සාර්ථකව නිමා කර තිබේ. එවාන් පැපගිරිගෝ (Evan Papageorgiou) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම නියෝජිත පිරිස සිය සංචාරය අවසානයේ අද (30) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වෙන වෙනම හමුවී විශේෂ සාකච්ඡා පවත්වා ඇත.
ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී IMF නියෝජිතයින් පෙන්වා දුන්නේ, ගෝලීය වශයෙන් මතුව ඇති බාහිර ආර්ථික කම්පන මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට සමත්ව ඇති බවයි. රජය විසින් ආර්ථිකය මෙහෙයවනු ලබන ආකාරය ඇගයීමට ලක් කළ ඔවුන්, IMF සහාය ලබන අනෙකුත් රටවලට වඩා ශ්‍රී ලංකාව ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ප්‍රකාශ කළේය. එමෙන්ම විස්තීර්ණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනේ හත්වන සමාලෝචනය මෙම වසර අගදී සිදු කිරීමට අපේක්ෂා කරන බව ද මෙහිදී දැනුම් දී තිබේ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ, ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ සැබෑ ප්‍රතිලාභය රටේ පොදු ජනතාවට ඍජුවම හිමිවිය යුතු බවත්, රජය මේ වන විට ඒ වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බවත්ය.
මේ අතර, අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සමඟ පැවති සාකච්ඡාවේදී, වත්මන් ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවයන් හමුවේ මතුවන අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය උපරිම සහයෝගය අඛණ්ඩව ලබා දීමට සූදානම් බව IMF නියෝජිත පිරිස අවධාරණය කළහ.
කෙසේ වෙතත්, වත්මන් විස්තීර්ණ වැඩසටහන අවසන් වීමෙන් පසු තවත් නව ආර්ථික වැඩසටහනක් පිළිබඳව සාකච්ඡා කළේද යන්න සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට ද මෙහිදී අවධානය යොමු විය.
















