ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ටෙස්ට් තරගයෙන් ලැබූ දරුණු පරාජයෙන් පසුව, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වත්මන් වේගපන්දු බලඇණිය අතීතයේ සිටි ලෝක පූජිත කොදෙව් වේගපන්දු පාලකයින් සිහිගන්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් කමිටු සභාපති සිදත් වෙත්තිමුණි මහතා පවසයි.
‘ද මෝනින්’ පුවත්පත සමඟ අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ කෙමාර් රෝච්, ජයිඩන් සීල්ස්, අල්සාරි ජෝසප් සහ ෂැමාර් ජෝසප් යන පන්දු යවන්නන් ශ්‍රී ලංකා ඉනිම් දෙකේම කඩුලු 20ම දවාගනිමින් දැක්වූ දක්ෂතාව “ඇත්තෙන්ම විශ්මයජනක” බවයි.
ඔවුන් පන්දු යැවූ ආකාරය අතීතයේ ලෝක ක්‍රිකට් පිටිය හොල්මන් කළ ජොයෙල් ගානර්, මැල්කම් මාර්ෂල්, මයිකල් හෝල්ඩින් සහ ඇන්ඩි රොබර්ට්ස් වැනි දැවැන්තයින්ගේ පන්දු යැවීමට සමාන බවත්, ඔවුන්ගේ ප්‍රබල පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට පිළිතුරක් නොතිබූ බවත් සිදත් වෙත්තිමුණි මහතා වැඩිදුරටත් කියා සිටියේය.
බටහිර ඉන්දීය කොදෙව් පිල ඉනිමකින් සහ ලකුණු 217කින් මෙම තරගය ජයගත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන් ලැබූ විශාලතම ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කරමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම අංශවලින් පසුබෑමකට ලක්වුවද, වමත් දඟපන්දු යවන ක්‍රීඩක සොනල් දිනුෂ දැක්වූ දක්ෂතාව මෙම තරගයේදී දක්නට ලැබුණු සුළු ධනාත්මක කරුණක් බව ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, ක්‍රිකට් ක්‍රීඩාවේ මෙවැනි පරාජයන් සාමාන්‍ය බවත්, දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් වැඩි වේලාවක් පිටියේ රැඳී සිටිමින් සාර්ථක සටනක් ලබා දෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් සිදත් වෙත්තිමුණි මහතා ප්‍රකාශ කළේය.
මෙම ජයග්‍රහණයත් සමඟ තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්ව තිබේ.
















