එල්නිනෝ (El Niño) දේශගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි බලපෑම්වලට මුහුණ දීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ සූදානම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ව්‍යසන කළමනාකරණ ජාතික සභාව රැස්වූ මෙම අවස්ථාවේදී කෘෂිකර්මාන්තය, පානීය ජල සැපයුම සහ බලශක්ති උත්පාදනය යන අංශවල සූදානම පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.
මෙහිදී ජනාධිපතිවරයා විසින් වනජීවි කලාපවල පවතින වැව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙස පරිසර අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම ජල විදුලි උත්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ජලාශවල ජල ධාරිතාව නිසි ලෙස කළමනාකරණය කිරීමටත්, සූර්ය බලයෙන් නිපදවන විදුලිය ගබඩා කිරීම සඳහා අවශ්‍ය බැටරි ගෙන්වීම කඩිනම් කිරීමටත් පියවර ගන්නා ලෙස පෙන්වා දුන්නේය. එල්නිනෝ බලපෑමෙන් වගාවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මහ කන්නයේ වගා කටයුතු කල්තියා ආරම්භ කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා විය.
මීට අමතරව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායයෑම් අවදානම් ප්‍රදේශවල පවතින පවුල් නැවත පදිංචි කිරීම සඳහා වසර හතරක කාලසීමාවක් තුළ ක්‍රියාත්මක කළ හැකි සැලැස්මක් සකස් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා, මුදාගැනීමේ මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ හෙලිකොප්ටර් පහසුකම් වැඩිදියුණු කිරීමට ද තීරණය කළේය.
දැනට ආයතන කිහිපයක් හරහා විසිරී පවතින ආපදා කළමනාකරණ කටයුතු එක් මධ්‍යස්ථානයකට ගෙන ඒම සඳහා යෝජිත ජාතික ආපදා කළමනාකරණ ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ කමිටු වාර්තාව ද මෙහිදී ඉදිරිපත් කෙරිණි. එහිදී 2005 අංක 13 දරන ආපදා කළමනාකරණ පනතේ පවතින ප්‍රතිචාරාත්මක ක්‍රමවේදය වෙනුවට, ආපදා වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙන නව නීතිමය රාමුවක අවශ්‍යතාව දැඩිව අවධාරණය කෙරුණු අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ඒකාබද්ධ කර සේවා කාර්යක්ෂම කිරීමට ද යෝජනා විය.
















