ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ ස්ථාපිත රේඛීය ත්වරණ (LINAC) යන්ත්‍රය පසුගිය ජූනි 05 වැනිදා බිඳ වැටීමෙන් අනතුරුව ජූනි 17 වැනිදා යථා තත්ත්වයට පත් කළ ද, රෝහලේ වායු සමීකරණ (AC) පද්ධතියේ පවතින දෝෂයක් හේතුවෙන් පිළිකා රෝගීන් සඳහා වන විකිරණ ප්‍රතිකාර සේවාවන් තවමත් ආරම්භ කිරීමට නොහැකි වී තිබේ.
රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසන්නේ, මෙම වායු සමීකරණ පද්ධතියේ පවතින දෝෂ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් වෙත දීර්ඝ කාලයක සිට දැනුම් දී තිබුණ ද, ඒවා නිවැරදි කිරීමට කිසිදු පියවරක් නොගෙන තිබීම බරපතළ කනස්සල්ලට කරුණක් බවයි.
මෙම යන්ත්‍රය බිඳ වැටීමට පෙර දිනකට රෝගීන් 80කට අධික සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබා ගත් අතර, ඔවුන්ගේ ප්‍රතිකාර කාලසටහන් මේ වන විට අතරමග ඇණහිට ඇත. එසේම, විකිරණ ප්‍රතිකාර සඳහා රෝගීන් හතර මාසයකට වැඩි පොරොත්තු ලේඛනයක් පවතින අතර, ගාල්ල දිස්ත්‍රික්කයට අමතරව හම්බන්තොට, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් යොමු කරන රෝගීන් සඳහා ද මෙම රෝහල සේවාව සපයයි. මෙම ගැටලුවට කඩිනමින් මැදිහත් වී ප්‍රතිකාර සේවාව යළි ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස එම සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා සඳහන් කළේ, පසුගිය සතියේ සිදුවූ විදුලි පරිවර්තකයක කෙටි පරිපථයක් හේතුවෙන් වායු සමීකරණ පද්ධතියේ හීටර් (heaters) කොටස්වලට හානි සිදුවී ඇති බවයි. එම කොටස් අලුත්වැඩියාව සඳහා අදාළ සමාගම වෙත භාර දී ඇති අතර, ජූලි 03 වැනිදා වන විට අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.
මීට අමතරව, ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය යටතේ නව LINAC යන්ත්‍රයක් ස්ථාපනය කිරීමට අනුමැතිය ලැබී ඇති අතර, ඒ සඳහා අවශ්‍ය කොන්ක්‍රීට් බංකරය යුද හමුදාවේ සහායෙන් මේ වන විට ඉදිකරමින් පවතී.
















