ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට් සිල්ලර මිලෙන් 75%ක් බදු වශයෙන් අය කර ගත යුතු වුවත්, ශ්‍රී ලංකාව එම නිල ප්‍රතිපත්තියෙන් ක්‍රමයෙන් බැහැර වෙමින් ජාතික ආදායමට දැවැන්ත පාඩුවක් සිදු කර ගනිමින් සිටින බව වේරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි. 2018 වසරේදී 74%ක ඉහළ බදු ප්‍රතිශතයක් පවත්වා ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ආසන්නව සිටි ශ්‍රී ලංකාව, වත්මන් බලධාරීන් අනුගමනය කළ අදූරදර්ශී සහ විද්‍යාත්මක නොවන බදු ප්‍රතිපත්ති හේතුවෙන් 2026 වසර වන විට එම ප්‍රතිශතය 66.8%ක් වැනි පහළ මට්ටමකට වැටීමට ඉඩ හැර ඇත. මෙම බදු ප්‍රතිපත්ති වෙනස්කම් තුළින් සිදුව ඇත්තේ රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතු රුපියල් කෝටි 1,730ක වාර්ෂික ආදායමක් දුම්කොළ සමාගම්වල පෞද්ගලික ලාභ ලෙස ගලා යාමට මග පාදා දීමයි.
බදු ප්‍රතිශතය අඩු කිරීම හරහා රාජ්‍ය ආදායම අහිමි කිරීමේ මෙම ක්‍රියාවලිය ජාතික ආර්ථිකයට සිදු කර ඇති හානිය සුළුපටු නොවන අතර, සාමාන්‍ය ජනතාව මත පටවා ඇති අනෙකුත් වක්‍ර බදු බරින් ඔවුන්ව මුදවා ගැනීමට නම්, වහාම සිගරට් බද්ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන 75%ක මට්ටමට ඉහළ දැමිය යුතු බව ආර්ථික විද්‍යාඥයෝ අවධාරණය කරති. ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් පැනවිය යුතු බදු, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ දුර්වලතා හේතුවෙන් මෙලෙස පුද්ගලික සමාගම්වල ලාභාංශ බවට පත් වීම ජාතික වශයෙන් බරපතල ගැටලුවක් බවත්, අහිමි වන මෙම මුදල රටේ සංවර්ධන කටයුතු සඳහා භාවිත කළ හැකිව තිබූ බවත් විචාරකයෝ පෙන්වා දෙති.
















