ඊ.වයි (EY) ශ්‍රී ලංකා සහ මාලදිවයින් කලාපයේ නව කළමනාකාර හවුල්කාරිනිය ලෙස ගයාත්‍රි මනතුංග මහත්මිය පත් කර තිබේ. මෙම පත්වීම 2026 ජූලි මස 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි සිදුකර ඇති බව එම ආයතනය නිල වශයෙන් නිවේදනය කරයි. ඇය මෙම තනතුරේ වැඩ භාරගනු ලබන්නේ වසර හතළිහකට අධික කාලයක් EY ආයතනය තුළ විශිෂ්ට සේවයක් ඉටුකළ දුමින්ද හුලංගමුව මහතා එම තනතුරෙන් විශ්‍රාම ලැබීමෙන් පසුවයි. හුලංගමුව මහතා පසුගිය ජූනි මස 30 වන දින සිය සේවයෙන් නිල වශයෙන් විශ්‍රාම ගත්තේය.
ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන දුමින්ද හුලංගමුව මහතා මෑතකදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයා ලෙස ද පත් කෙරිණි. EY ආයතනය පවසන්නේ මෙම නායකත්ව මාරුව ශ්‍රී ලංකා සහ මාලදිවයින් මෙහෙයුම් කටයුතුවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරන බවයි. එමෙන්ම, හුලංගමුව මහතා ආයතනය වෙනුවෙන් දැක්වූ දීර්ඝකාලීන දායකත්වය සහ කැපවීම පිළිබඳව ඔවුන් සිය කෘතවේදීත්වය පළ කර සිටී.
















