වසර 90ක අභිමානවත් ගමනක් සනිටුහන් කරමින් එළඹෙන ජූලි 03 වැනිදා සිය 90 වැනි සංවත්සරය සමරන දෙහිවල ජාතික සත්වෝද්‍යානය, එදිනට සමගාමීව විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. 1936 ජූලි 03 වැනිදා ආරම්භ කළ දෙහිවල ජාතික සත්වෝද්‍යානය, වසර 90ක් පුරා ක්ෂීරපායින්, පක්ෂීන්, උරගයින් ඇතුළු සත්ව විශේෂ රැසක් සංරක්ෂණය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනයක් ලෙස කටයුතු කරයි.
මෙම සංවත්සරය නිමිත්තෙන්, මෑතකදී කාගේත් ආකර්ෂණය දිනාගත් සිංහ පැටවුන් දෙදෙනා සඳහා තෝරාගත් නම් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත්, එම නම් යෝජනා කළ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්රදානය කිරීමටත් නියමිතය. එදිනම මෙම සිංහ පැටවුන් දෙදෙනා සිය මව සමඟ “සිංහ දූපත” තුළදී දැකබලා ගැනීමේ විශේෂ අවස්ථාව ද මහජනතාවට හිමි වේ.
මීට අමතරව, සත්වෝද්‍යානයේ උපත ලැබූ නයිල් හිපෝ පැටවා ප්‍රථම වරට එදින මහජන ප්‍රදර්ශනයට එක් කිරීමට නියමිතය. එම හිපෝ පැටවාට නමක් තැබීම සඳහා වයස අවුරුදු 18ට අඩු පාසල් දරුවන්ට විශේෂ අවස්ථාවක් ද ලබාදීමට කටයුතු යොදා ඇත. “දශක නවයක සංරක්ෂණ මෙහෙවර සමරමු” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සුවිශේෂී උත්සවයට එක්වන ලෙස දෙහිවල ජාතික සත්වෝද්‍යානය සියලු දේශීය හා විදේශීය සංචාරකයන්ට ආරාධනා කර සිටියි.














