මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකායට (MINUSCA) අනුයුක්ත ශ්‍රී ලංකා ගුවන් හමුදා බලඇණිය, සතුරු ප්‍රහාර සහ අයහපත් කාලගුණය මධ්‍යයේ අතිශය බිහිසුණු ජීවිත ගලවාගැනීමේ මෙහෙයුමක් (CASEVAC) සාර්ථකව නිම කර තිබේ. ජුනි 30 වැනිදා සිදුකළ මෙම මෙහෙයුම, එක්සත් ජාතීන්ගේ සාමසාධක ගුවන් ඉතිහාසයේ හදිසි අවස්ථාවකදී එකවර තුවාලකරුවන් 14 දෙනෙකු මුදාගත් පළමු අවස්ථාව ලෙස වාර්තා පොත් අතරට එක්වේ.
එරට ‘අම් ඩැෆොක්’ ප්‍රදේශයේදී සැම්බියානු සාමසාධක සෙබළුන් සහ සිවිල් වැසියන් පිරිසක් සන්නද්ධ කණ්ඩායමක දරුණු ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටියහ. අයහපත් කාලගුණය නිසා වෙනත් රටක හෙලිකොප්ටරයකට එම ස්ථානයට ළඟාවීමට නොහැකි වූ පසුබිමක, සාමසාධක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරියා විසින් මෙම භයානක වගකීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පැවරීය.
ඒ අනුව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා බලඇණියේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ආසිරි පතිරගේ සහ සහය නියමු ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් දිල්හාෂ් අතපත්තු ඇතුළු 9 දෙනෙකුගෙන් යුත් වීරෝදාර කාර්ය මණ්ඩලය Mi-17 හෙලිකොප්ටර් යානයෙන් සෘජුවම සටන් බිම වෙත පියාසර කළහ.
යානය ගොඩබැස්වීම පවා අතිශය අනාරක්ෂිත වූ බැවින්, එන්ජිම පණගන්වා තිබියදීම ඉතා කෙටි කාලයක් තුළ තුවාලකරුවන් 14 දෙනා යානයට නංවාගෙන වහාම එතැනින් පිටත්වීමට ශ්‍රී ලාංකික ගුවන් භටයෝ සමත් වූහ. තමන්ගේ ජීවිත අවදානම නොතකා දැක්වූ මෙම අසමසම නිර්භීතකම එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරියාගේ (Force Commander) ඉහළම ඇගයීමට ලක්ව ඇති අතර, එමඟින් ශ්‍රී ලංකා සන්නද්ධ බලකායන්ගේ කීර්ති නාමය ලෝකය හමුවේ නැවත වරක් තහවුරු විය.














