TIN අංකයක් (බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය) ලබාගත් සෑම පුරවැසියෙකුම බදු ගෙවීම අනිවාර්ය නොවන බවත්, බදු පැනවෙන්නේ නියමිත ආදායම් සීමාවන් ඉක්මවන අයට පමණක් බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (බදු ප්‍රතිපත්ති) නන්දන කුමාර මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඔහු පෙන්වා දෙන පරිදි, 2024 ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා කාලය තුළ මෙරට පුද්ගලයන් ලක්ෂ 130 කට (මිලියන 13 කට) ආසන්න ප්‍රමාණයකට TIN අංක නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව සමත්ව ඇත. TIN අංකයක් තිබීම බදු ක්‍රමයට විවෘත වීමක් පමණක් වන අතර, ව්‍යාපාරිකයෙකු හෝ පුද්ගලයෙකු වාර්ෂිකව රුපියල් ලක්ෂ 18 කට වඩා ආදායමක් ලබන්නේ නම් පමණක් බදු ගෙවීමට යටත් වේ. ඔබ ලබන ආදායම එම සීමාව ඉක්මවා නොයන්නේ නම් ව්‍යාපාර කටයුතුවලට හෝ දෛනික ජීවිතයට කිසිදු බාධාවක් සිදු නොවන බව ද ඔහු පැහැදිලි කළේය.
වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සෑම ශ්‍රී ලාංකිකයෙකුම මෙම අංකය ලබාගත යුතු අතර, වාහන ලියාපදිංචිය, ඉඩම් හෝ දේපළ ලියාපදිංචිය, බැංකු ජංගම ගිණුම් විවෘත කිරීම සහ ගොඩනැඟිලි සැලසුම් අනුමත කරගැනීම වැනි අත්‍යවශ්‍ය කටයුතු රැසක් සඳහා වර්තමානයේදී TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.














