කහවත්ත පුරාණ විහාරස්ථානයේ වාර්ෂික මිහිඳු මහා පෙරහර හෙට (03) රාත්‍රී කාලයේ වීථි සංචාරය කිරීමට නියමිතව ඇති බැවින්, රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර සිටියි.
පෙරහර හෙට රාත්‍රී 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කර, ලිහිණියා හන්දියෙන් හැරී කොටකෙතන මාර්ගය ඔස්සේ නැවත විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතය. මෙම කාලය තුළ සැහැල්ලු වාහන සඳහා පමණක් මාර්ගයේ එක් මංතීරුවක් විවෘතව තැබෙන අතර, බර වාහන සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දෙයි.
ඒ අනුව ඇඹිලිපිටිය සිට කොළඹ දෙසට ගමන් කරන බර වාහන කහවත්ත යායින්න හන්දියෙන් වමට හැරී මනන්දොළ, නිවිතිගල සහ තිරිවානාකැටිය හරහා රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසිය යුතුය.
එසේම රත්නපුර සිට ඇඹිලිපිටිය දෙසට ගමන් කරන බර වාහන සඳහා පළමු විකල්පය ලෙස පැල්මඩුල්ල, බලංගොඩ සහ වැලිගෙපොල හරහා පල්ලෙබැද්ද මාර්ගය භාවිත කළ හැකිය. නැතහොත් දෙවැනි විකල්පය ලෙස කහවත්ත ඔරලෝසු කණුව වටරවුමෙන් වමට හැරී ඕපනායක මාර්ගය ඔස්සේ ඕපනායකට පිවිස, බලංගොඩ සහ පල්ලෙබැද්ද හරහා ගමනාන්තය වෙත ළඟා විය හැකි බව පොලිසිය පෙන්වා දෙයි.
















