ලබන වසරේ (2027) සිට සෝමාලියාවේ ක්‍රියාත්මක අප්‍රිකානු සංගමයේ (African Union) සාම සාධක මෙහෙයුම් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් ලබාදෙන සහයෝගය වැළැක්වීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇති බව නිල ලේඛන උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඇමරිකාවේ මෙම තීරණය හේතුවෙන් සෝමාලියාවේ සාම සාධක මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර වීමේ අවදානමක් මතුව තිබේ.
‘අල්-කයිඩා’ (al-Qaeda) සංවිධානයට සම්බන්ධ ‘අල්-ෂබාබ්’ (al-Shabaab) කැරලිකරුවන්ගෙන් සෝමාලියානු රජය ආරක්ෂා කිරීම සඳහා සෙබළුන් 12,000කගෙන් යුත් මෙම අප්‍රිකානු සංගම් සාම සාධක බලකාය (AUSSOM) විශාල දායකත්වයක් සපයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් මොවුන්ට අවශ්‍ය ආහාර, ඉන්ධන, වෛද්‍ය පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් සපයන අතර, ඇමරිකාව පවසන්නේ සෝමාලියාව සිය ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය කිරීමට අපොහොසත් වී ඇති බැවින් මෙම තීරණය ගත් බවයි. කෙසේ වෙතත්, මෙමඟින් සාම සාධක මෙහෙයුම් අඩාල වුවහොත් අල්-ෂබාබ් ත්‍රස්තවාදීන් නැවතත් ප්‍රබල වීමේ දැඩි තර්ජනයක් පවතී.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















