මෝටර් රථ නිෂ්පාදනයේදී කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය පමණක් භාවිත කිරීමෙන් බලාපොරොත්තු වූ ගුණාත්මකභාවය ලබාගත නොහැකි වූ බව පවසමින්, ඇමරිකාවේ සුප්‍රකට ෆෝර්ඩ් (Ford) මෝටර් රථ සමාගම වසර ගණනාවක පළපුරුද්දක් ඇති ප්‍රවීණ ඉංජිනේරුවන් සහ තත්ත්ව පරීක්ෂකවරුන් 300කට වැඩි පිරිසක් නැවත සේවයට බඳවා ගැනීමට පියවර ගෙන තිබේ.
මෝටර් රථවල පවතින දෝෂ සහ සංකීර්ණ තාක්ෂණික ගැටලු මිනිස් ඇසකින් තොරව හුදෙක් AI මඟින් පමණක් නිවැරදිව හඳුනා ගැනීමට අපොහොසත් වීම නිසා සමාගම මෙම තීරණයට එළඹ ඇත. කෘත්‍රිම බුද්ධිය අතිවිශිෂ්ට මෙවලමක් වුවද, එහි සාර්ථකත්වය රඳා පවතින්නේ ඊට ලබා දෙන දත්තවල ගුණාත්මකභාවය මත බවත්, මිනිස් පළපුරුද්ද සහ කුසලතාවන්ට එය සමාන කළ නොහැකි බවත් ෆෝර්ඩ් සමාගමේ විධායක නිලධාරීන් පිළිගෙන තිබේ. මෙම ප්‍රවීණ ඉංජිනේරුවන් නැවත පැමිණීමත් සමඟ ෆෝර්ඩ් සමාගමේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය නැවතත් ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකිවනු ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විශ්වාස කරති.
















