ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ (Palais des Nations) පැවති පස්වැනි ඡායාරූප ප්‍රදර්ශනයේදී ශ්‍රී ලාංකේය කාන්තා නායකත්වය අභිමානවත් ලෙස ඇගයීමට ලක්විය. ‘Not a Woman’s Job? Women Leading Countries, Societies and Communities’ යන තේමාව යටතේ පැවති මෙම ප්‍රදර්ශනය මගින් සමාජීය ඒකාකෘතික මතවාදයන්ට අභියෝග කරමින් නායකත්ව භූමිකා යළි අර්ථකථනය කළ කාන්තාවන් උත්කර්ෂයට නංවනු ලැබීය.
මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රකට විද්වතෙකු වන කුමාරි ජයවර්ධන මහත්මියගේ සහ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මියගේ ඡායාරූප සහ ඔවුන්ගේ සේවාවන් ඇතුළත් තොරතුරු ඉදිරිපත් කෙරිණි. එම නායිකාවන්ගේ දායකත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ටැටියානා වැලෝවායා මහත්මිය වෙත පැහැදිලි කිරීමක් ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපති සුමිත් දසනායක මහතා විසින් සිදු කළේය.
ප්‍රකට ස්ත්‍රීවාදී ක්‍රියාකාරිනියක සහ විද්වතියක වන කුමාරි ජයවර්ධන මහත්මිය, ශ්‍රී ලංකාවේ කම්කරු හා ස්ත්‍රීවාදී ව්‍යාපාර පිළිබඳ කෘති රැසක කතුවරියකි. ඇයගේ ‘Feminism and Nationalism in the Third World’ කෘතිය ගෝලීය දකුණේ ස්ත්‍රීවාදය පිළිබඳ වැදගත් ශාස්ත්‍රීය කෘතියක් ලෙස සැලකේ.
‘සිංහල සිනමාවේ කිවිඳිය’ ලෙස ප්‍රකට සුමිත්‍රා පීරිස් මහත්මිය ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා සිනමා අධ්‍යක්ෂවරියයි. රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ ද සේවය කර ඇති ඇයගේ සම්භාව්‍ය නිර්මාණයක් වන ‘ගැහැනු ළමයි’ චිත්‍රපටය 2025 කාන් සිනමා උළෙලේදී විශේෂ ඇගයීමට ලක්වෙමින් ලෝක මංගල දර්ශනයට තේරී පත්වීම ද විශේෂත්වයකි.
















