කහවත්ත පුරාණ විහාරස්ථානයේ වාර්ෂික මිහිඳු මහා පෙරහර අද (03) රාත්‍රී වීථි සංචාරය කිරීම හේතුවෙන්, රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සඳහා විශේෂ සීමාවන් පනවා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. මෙම සීමාවන් අද රාත්‍රී 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා බලපැවැත්වේ. පෙරහර ගමන් කරන කාලය තුළ සැහැල්ලු වාහන සඳහා පමණක් මාර්ගයේ එක් මංතීරුවක් ඔස්සේ ගමන් කිරීමට අවසර ලබා දී ඇති අතර, බර වාහන සඳහා පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.
ඇඹිලිපිටිය සිට කොළඹ දෙසට ගමන් කරන බර වාහන සඳහා කහවත්ත යායින්න හන්දියෙන් වමට හැරී, මනන්දොළ, නිවිතිගල සහ තිරිවානාකැටිය හරහා රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකිය. රත්නපුර සිට ඇඹිලිපිටිය දෙසට ගමන් කරන බර වාහන සඳහා පැල්මඩුල්ල, බලංගොඩ සහ වැලිගෙපොල හරහා පල්ලෙබැද්ද මාර්ගය ඔස්සේ ගමන් කළ හැකිය. මීට අමතරව, කහවත්ත ඔරලෝසු කණුව වටරවුමෙන් වමට පිහිටි ඕපනායක මාර්ගය ඔස්සේ ඕපනායකට පිවිස, බලංගොඩ සහ පල්ලෙබැද්ද හරහා ඇඹිලිපිටිය දෙසට ගමන් කිරීමේ හැකියාවද පවතී. අදාළ කාලසීමාව තුළ මෙම මාර්ග භාවිත කරන රියැදුරන් තම ගමන් සැලසුම් විකල්ප මාර්ග ඔස්සේ සිදු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
















