එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් දෝෂාභියෝගයකට ලක් කර ධුරයෙන් ඉවත් කරන ලෙස ඇමරිකානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල (Capitol) අසල පැවති විරෝධතාවකදී ප්‍රසිද්ධියේ ඉල්ලා සිටි සක්‍රීය රාජකාරියේ නියුතු ගුවන් හමුදා නිලධාරියෙකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව එක්සත් ජනපද ගුවන් හමුදාව නිවේදනය කරයි.
මේජර් ජේසන් වොට්සන් නමැති මෙම නිලධාරියා අදාළ විරෝධතාවේදී ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර තිබුණි. විශේෂයෙන්ම, කොංග්‍රසයේ අනුමැතියකින් තොරව ඉරානය සමඟ යුද්ධයකට යාම වැනි ක්‍රියා හේතුවෙන් ඔවුන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බව ඔහු එම අවස්ථාවේදී ප්‍රකාශ කළේය. අන්තර්ජාලයේ පළවූ වීඩියෝ දර්ශනවල දැක්වෙන පරිදි ඔහු විරෝධතා පුවරුවක් ද රැගෙන සිටියදී කැපිටල් පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
එක්සත් ජනපද ගුවන් හමුදා ලේකම්වරයාගේ කාර්යාලය නිල ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ, හමුදාවේ දේශපාලනික නොවන ස්වභාවයට හානි විය හැකි ඕනෑම ආකාරයක විනය විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ඉතා බරපතල ලෙස සිදු කෙරෙන බවයි.
ඇමරිකානු හමුදා නීතිරීතිවලට අනුව, සේවයේ නියුතු හමුදා සාමාජිකයන්ට විශේෂයෙන්ම නිල ඇඳුමින් සිටියදී දේශපාලනික කටයුතුවල නිරත වීම තහනම් වේ. එසේම, යුනිෆෝම් කෝඩ් ඔෆ් මිලිටරි ජස්ටිස් (UCMJ) හි 88 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරයා හෝ කොංග්‍රස් නියෝජිතයන් සම්බන්ධයෙන් අවමන් සහගත ප්‍රකාශ සිදු කිරීම ද තහනම් කර ඇත. තමා මෙම ක්‍රියාවෙහි ඇති අවදානම සහ ඒ සඳහා ලැබිය හැකි දඬුවම් පිළිබඳව දැනුවත් බව මේජර් වොට්සන් එහිදී ප්‍රකාශ කර තිබුණි.
















