නිරිත දිග මෝසම් කාලගුණික තත්ත්වය සක්‍රීය වීමත් සමඟ මෙරට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තියේ දැඩි වර්ධනයක් පෙන්නුම් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි. එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පෙන්වා දෙන්නේ පසුගිය ජුනි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 22,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.
මෙම තත්ත්වය ඉතා බරපතළ බව පෙන්වා දෙන වෛද්‍යවරයා, මේ වන විට දිවයින පුරා පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 124ක් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.
මැයි, ජුනි සහ ජූලි යන මාසවලදී සාමාන්‍යයෙන් ඩෙංගු ව්‍යාප්තියේ යම් ඉහළ යාමක් දක්නට ලැබෙන අතර, පවතින මෝසම් තත්ත්වය මත මෙය අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවට මීට පෙරද අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි. මේ අනුව ඩෙංගු මර්දන කටයුතු සම්බන්ධයෙන් මහජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු අතර තම නිවෙස් සහ අවට පරිසරය මදුරුවන් බෝ නොවන ලෙස පිරිසිදුව තබා ගැනීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.
















