වත්මන් රජය ජනතාවගෙන් අය කරගන්නා බදු මුදල් කිසිදු නාස්තියකින් තොරව ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් පමණක් යොදවන බවත්, එම පාලනය කෙරෙහි පවතින විශ්වාසය නිසාම ජනතාව මේ වන විට කැමැත්තෙන් බදු ගෙවීමට ඉදිරිපත් වන බවත් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා සඳහන් කරයි.
පෙර පැවති පාලනයන් මෙන් නොව, වත්මන් පාලනය යටතේ බදු මුදල් සොරකම් කිරීමක් හෝ අවිධිමත් ලෙස භාවිත කිරීමක් සිදු නොවන බව ඔහු අවධාරණය කළේය. බදු අය කිරීමේ සැබෑ අරමුණ ජනතාවට අවශ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂමව සහ විනිවිදභාවයකින් යුතුව ලබාදීම බවත්, දූෂණයෙන් තොර පාලනයක් තුළ එහි ප්‍රතිලාභ සෘජුවම ජනතාවට හිමිවන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ඉන්ධන මිල සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, ලෝක යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන මිල ඉහළ යෑමේ පීඩනය තිබියදීත්, ජනතාවට සහන සැලසීම සඳහා දැනටමත් ඉන්ධන මිල අඩු කිරීමට රජය පියවර ගෙන ඇති බවයි. ඉදිරියේදීත් එම වාසිය ජනතාවට ලබාදෙමින් තවදුරටත් ඉන්ධන මිල අඩු කිරීමට රජය අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















