ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 ජූලි 03 දින සිට බලපැවැත්වෙන පරිදි නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ බලපත්‍රය අවලංගු කර තිබේ. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අඛණ්ඩව උල්ලංඝනය කිරීම සහ සමාගමේ මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පිරිහීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත යටතේ මෙම ආයතනය ගණන් බේරා වසා දැමීමට කටයුතු යොදා ඇත.
මෙම තීරණයත් සමඟ තැන්පත්කරුවන් වෙත වන්දි ලබා දීම සම්බන්ධයෙන් මහ බැංකුව පහත කරුණු අවධාරණය කරයි.
ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ, එක් තැන්පත්කරුවෙකු සඳහා උපරිමය රුපියල් 1,100,000/- දක්වා වන්දි මුදලක් ගෙවීමට පියවර ගෙන තිබේ. මෙම ක්‍රියාමාර්ගය හරහා සමාගමේ තැන්පත්කරුවන්ගෙන් 99.1% කට සිය මුදල් සම්පූර්ණයෙන් ලබා ගැනීමට හැකි වේ. ඉතිරි 0.9% ක් වන තැන්පත්කරුවන්ට ද තම තැන්පතු මුදලින් උපරිම රුපියල් 1,100,000/- ක කොටසක් හිමිවනු ඇත.
වන්දි මුදල් ලබා ගැනීම සඳහා තැන්පත්කරුවන් තම මුල් තැන්පතු සහතික සහ ජාතික හැඳුනුම්පත වැනි අනන්‍යතා සනාථ කිරීමේ ලේඛන මේ වන විට සූදානම් කර තබාගත යුතුය. වන්දි ඉල්ලා අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු පුවත්පත් සහ මහ බැංකුවේ නිල වෙබ් අඩවිය හරහා ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ. තැන්පත්කරුවන්ට මෙම වන්දි ලබා ගැනීම සඳහා 2032.07.02 දිනට පෙර අයදුම්පතක් ඉදිරිපත් කළ හැකි වේ.
එසේම, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි සියලුම ණයගැතියන් වෙත දන්වා සිටින්නේ, තම ණය වාරික නියමිත පරිදි සමාගම සතු බැංකු ගිණුම වෙත පමණක් ගෙවන ලෙසයි. නියමිත පරිදි ගෙවීම් පැහැර හරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කරයි.
















