රටේ වත්මන් දේශපාලන තත්ත්වය අතිශය කණගාටුදායක බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, රජය සිය පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් ඉලක්ක කරගනිමින් කටයුතු කරන්නේ දඩයම් කිරීමට වෙනත් පිරිසක් නොමැති නිසා බව චෝදනා කරයි. යෝෂිත රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳව අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ තමන් හැමදාමත් ජනතාව සමඟ සිටින බැවින් රජයේ මෙවැනි ක්රියාමාර්ගවලට ලක්වීමට සිදුව ඇති බවයි.
2029 ජනාධිපතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සම්බන්ධයෙන් නැගූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේ, ජනතාව විසින්ම සුදුසු පුද්ගලයා තීරණය කරනු ඇති බවයි. නාමල් රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ දැයි විමසූ අවස්ථාවේදී, “ජනතාව ඉල්ලනවා නම් අපි දෙනවා, ජනතාව ඉල්ලන්නේ නැති කෙනෙක්ව අපි ඉදිරිපත් කරන්නේ නැහැ” යනුවෙන් ඔහු සඳහන් කළේය.
තවද, වත්මන් රජය ගොවි ජනතාව මුහුණ දෙන ගැටලුවලට නිසි විසඳුම් ලබා නොදෙන බවත්, පාලකයින් ජනතාවගෙන් ඈත් වී කටයුතු කරන බවත් ඔහු චෝදනා කළේය. තමන් කිසිසේත්ම දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් නොමැති බව පැවසූ රාජපක්ෂ මහතා, ඉදිරියේදී ජනතාව ඒකරාශී කරගනිමින් ශක්තිමත් දේශපාලන ගමනක් යාමට සූදානම් බව වැඩිදුරටත් ප්රකාශ කළේය.
















