මෝදර ප්‍රදේශයේදී දේශීයව නිෂ්පාදිත තවත් ගිනි අවි දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. මීට පෙර දෙමටගොඩදී අත්අඩංගුවට ගත් දේශීය ගිනි අවි 18කට සමාන ආකාරයේ මෙම අවි ද්විත්වය සොයාගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “මෝදර නිපුන”ගේ සහෝදරයා සහ විදේශයක සැඟව සිටින බවට සැකකෙරෙන “මෝදර චතුර” නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මතය.
ඩුබායි රාජ්‍යයේ සිට මෑතකදී මෙරටට පිටුවහල් කළ “මෝදර චතුර” දැනට දින 90ක රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ පසුවෙයි. පොලිස් නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෝදර ප්‍රදේශයෙන් මෙම “ටී-කැට” (T-katas) වර්ගයේ දේශීය ගිනි අවි දෙක සොයාගෙන ඇත.
මෙතෙක් සොයාගෙන ඇති සියලුම දේශීය ගිනි අවි එකම පුද්ගලයෙකු විසින් නිෂ්පාදනය කර ඇති බවට පරීක්ෂණ පවත්වන නිලධාරීන් සැක පළ කරයි. එම ගිනි අවි නිෂ්පාදකයා හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
දිවයින පුරා සිදුකළ පොලිස් වැටලීම් සහ ගිනි අවි අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් ඇතිවූ නීතිවිරෝධී අවි හිඟය නිසා සංවිධානාත්මක අපරාධකරුවන් මෙලෙස දේශීයව ගිනි අවි නිෂ්පාදනය කිරීමට යොමුව ඇති බවට බුද්ධි අංශ තොරතුරු ලැබී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වැඩිදුරටත් සඳහන් කළේය.
















