ඉදිරියේදී ආරම්භ වීමට නියමිත මහ කන්නය සඳහා අවශ්‍ය රසායනික පොහොර තොග කඩිනමින් ලබාගැනීමේ වැඩපිළිවෙළක් රජය සහ පෞද්ගලික අංශය එක්ව ක්‍රියාත්මක කර තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, මහ කන්නයේ අවශ්‍යතාවයෙන් කොටසක් පිරිමැසීම සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි.
මෙම ප්‍රසම්පාදනය යටතේ කැට සහිත (granular) යූරියා මෙට්‍රික් ටොන් 10,000ක් සහ පබළු ආකාරයේ (prilled) යූරියා මෙට්‍රික් ටොන් 10,000ක් වශයෙන් මිලදී ගැනීමට නියමිත අතර, ඊට අදාළ ටෙන්ඩර් පටිපාටිය ජූලි 07 දින අවසන් වීමට නියමිතය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ට අනුව මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය සමස්ත රසායනික පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 169,635ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චන්දන ලොකුහේවා මහතා පවසන පරිදි, සමස්ත යූරියා අවශ්‍යතාවය වන මෙට්‍රික් ටොන් 180,000ක ඉලක්කය සපුරා ගැනීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වයද විශාල වශයෙන් ලබා ගැනීමට අපේක්ෂිතය. ඒ අනුව පෞද්ගලික ආනයනකරුවන් මෙවර කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 85,000ක් පමණ ආනයනය කිරීමට එකඟතාව පළ කර ඇත. මේ වන විටත් යූරියා මෙට්‍රික් ටොන් 12,000ක තොගයක් ගොඩබාමින් පවතින අතර, තවත් මෙට්‍රික් ටොන් 6,000ක තොගයක් ජූලි 13 දින මෙරටට ලැබීමට නියමිතය.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ සමස්ත පොහොර සැපයුමෙන් 10% – 15%ක ප්‍රමාණයක් පමණක් රජය හරහා සපයන අතර, සෙසු වැඩි කොටස පෞද්ගලික අංශයේ සමාගම් 40කට අධික සංඛ්‍යාවක් විසින් ආනයනය කරනු ලබයි. වී වගාවට අමතරව තේ, එළවළු, පලතුරු සහ අනෙකුත් බෝග සඳහාද මෙම පොහොර අවශ්‍යතාවය පවතින අතර, රට තුළ ප්‍රමාණවත් පොහොර සංචිතයක් පවත්වාගෙන යාම සඳහා රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව කටයුතු කරමින් සිටී.
















