ශ්‍රී ලංකාවේ අශ්ව අභිජනන ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින් මහනුවර පල්ලෙකැලේ අශ්ව අභිජනන මධ්‍යස්ථානයේදී තවත් අශ්ව පැටියෙකු බිහිවී ඇත. ‘බ්ලේස්’ (Blaze) ලෙස නම් කර ඇති මෙම අශ්ව පැටවා, තුල්වාන් (මව) සහ පවන් (පියා) යන අශ්ව යුවළගේ දරුවා වන අතර, මෙරට අභිජනනය කළ නවවෙනි අශ්ව පැටවා ලෙස වාර්තා වේ.
ලෝකයේ ඕනෑම රටකින් අශ්වයින් ආනයනය කිරීමේදී දැරීමට සිදුවන විශාල වියදම අවම කර ගැනීම සඳහා දේශීයව අශ්වයින් අභිජනනය කිරීම ඉතා වැදගත් වේ. මෙරට දේශගුණික තත්ත්වයන්ට හා පරිසරයට අනුවර්තනය විය හැකි සතුන් බිහි කිරීම අභිජනන මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණයි.
මීට දශක කිහිපයකට පෙර උපාලි විජයවර්ධන මහතා සතුව තිබූ අශ්වයින් දොළොස් දෙනාගෙන් ආරම්භ වූ මෙම වැඩසටහන, පසුව ගාමිණී දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කලාවැව ප්‍රදේශයේ අභිජනන මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කෙරිණි. වත්මන් පල්ලෙකැලේ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු පාලිත සමරකෝන් මහතා විසින් සිදුකරනු ලබයි.
ස්වභාවික සංසර්ගයට අමතරව කෘතිම සිංචනය (Artificial Insemination) වැනි නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කිරීම හරහා ගුණාත්මක අශ්වයින් බිහි කිරීමට කටයුතු යොදා ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ විශේෂඥයින්ගේ සහාය ඇතිව මෙරට පළමු සාර්ථක කෘතිම සිංචනය පල්ලෙකැලේදී සිදු කෙරිණි.
වේගවත් බව, ශක්තිය සහ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැනි ලක්ෂණ වර්ධනය කිරීම අභිජනනයේ මූලික අරමුණ වේ.
වර්තමානයේ අශ්වයින් ආනයනය කිරීමේ දුෂ්කරතා සහ දේශීය ආහාර රටාවන්ට සතුන් හුරු කිරීමේදී ඇතිවන අභියෝග පිළිබඳව පාලිත සමරකෝන් මහතා අවධාරණය කරයි. විදේශීය සතුන්ට දේශීය ආහාර හුරු කිරීමේදී එය ඉතා ක්‍රමිකව සිදුවිය යුතු බවත්, ඒ පිළිබඳ නිසි අවබෝධයකින් කටයුතු නොකිරීම සතුන්ගේ ජීවිතවලට පවා තර්ජනයක් විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
මෙරට අශ්ව අභිජනන ක්ෂේත්‍රයේ දියුණුව සඳහා තමා සතු වසර ගණනාවක අත්දැකීම් සහ දැනුම ඕනෑම රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක් වෙනුවෙන් ලබා දීමට තමා සූදානම් බව පාලිත සමරකෝන් මහතා අවසාන වශයෙන් පවසයි.
















