අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, එම සිද්ධිය සඳහා යොදාගත් මෝටර් රථය පදවාගෙන ගිය ප්‍රධාන සැකකරු මාලදිවයිනේ සිට මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව අපරාධය පිළිබඳව පාපොච්චාරණයක් සිදු කර තිබේ.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් මෙම සැකකරු සම්බන්ධයෙන් දින 90ක රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන සිදු කරන බවයි.
පසුගිය පෙබරවාරි 13 වැනිදා අකුරේගොඩ සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කර, වෙඩික්කරුවන් සමඟ මෝටර් රථයකින් පළාගිය මෙම සැකකරු, රතු නිවේදන ද නිකුත් කර තිබූ අයෙකි. මොහු බහරේන් සිට මාලදිවයිනට පැමිණ සිටියදී, එරට ආගමන විගමන නිලධාරීන්ගේ සහය ඇතිව මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබීය.
ගාල්ල, බටපොළ, ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරුගෙන් ලබාගන්නා ලද පාපොච්චාරණය ඔස්සේ ඝාතනයේ තවත් තොරතුරු රැසක් අනාවරණය වනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි.














