ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්ත වාර්තාවන්ට අනුව, මේ වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය පැය 24ක කාලය තුළ පමණක් රෝගීන් 2,604ක් වාර්තා වී ඇති අතර, මෙය රෝග ව්‍යාප්තියේ පවතින උග්‍ර තත්ත්වය පෙන්වා දෙයි.
සමස්ත රෝගීන්ගෙන් 52.50%ක ප්‍රතිශතයක් එනම් රෝගීන් 32,054ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. දිස්ත්‍රික්ක මට්ටමින් ගත් කල වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ (12,445) සහ ගම්පහ (12,282) දිස්ත්‍රික්කවලින් වාර්තා වේ.
පළාත් මට්ටමින් සෙසු දත්තයන්ට අනුව දකුණු පළාතෙන් රෝගීන් 9,674ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 5,237ක් වාර්තා වී තිබේ. මධ්‍යම පළාතෙන් රෝගීන් 4,823ක්, නැගෙනහිර පළාතෙන් රෝගීන් 2,979ක් සහ වයඹ පළාතෙන් රෝගීන් 2,778ක් වශයෙන් වාර්තා වී ඇත. මීට අමතරව ඌව පළාතෙන් රෝගීන් 1,550ක්, උතුරු මැද පළාතෙන් රෝගීන් 1,013ක් සහ උතුරු පළාතෙන් රෝගීන් 957ක් වශයෙන් රෝගීන් වාර්තා වේ.
දිස්ත්‍රික්ක මට්ටමින් මාතර (4,428), කළුතර (4,092), මහනුවර (3,802), රත්නපුර (3,588) සහ ගාල්ල (3,501) යන ප්‍රදේශවලින් ද වැඩි වශයෙන් රෝගීන් වාර්තා වෙමින් පවතී. කල්මුණේ, මොනරාගල, බදුල්ල, යාපනය, මාතලේ, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොළොන්නරුව සහ අම්පාර යන ප්‍රදේශවලින් ද රෝගීන් වාර්තා වීම අඛණ්ඩව සිදුවේ. ඩෙංගු ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ පිරිසිදු කිරීමේ කටයුතු පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් නැවත නැවතත් ඉල්ලා සිටී.














