ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව දියත් කළ යුද්ධයේ බලපෑමෙන් පසු බලශක්ති වෙළෙඳපොළ යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පහළ වීමත් සමඟ, තම තෙල් නිෂ්පාදනය තවදුරටත් ඉහළ දැමීමට OPEC+ සාමාජික රටවල් තීරණය කර ඇත.
සෞදි අරාබිය, රුසියාව, ඉරාකය, කුවේටය, කසකස්තානය, ඇල්ජීරියාව සහ ඕමානය යන සාමාජික රටවල් හතක් එක්ව මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව අගෝස්තු මස සිට දිනකට බැරල් 188,000ක නිෂ්පාදන වැඩිවීමක් සිදු වනු ඇත. 2023 වසරේදී පැනවූ තෙල් නිෂ්පාදන කප්පාදුව ක්‍රමයෙන් ලිහිල් කරමින්, මෙම රටවල් අඛණ්ඩව මාස පහක් තිස්සේ නිෂ්පාදනය ඉහළ දැමීම සිදු කර තිබේ.
ලෝක තෙල් සහ ද්‍රව ස්වභාවික වායු සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධිය යුද්ධය හේතුවෙන් ප්‍රායෝගිකව වසා දැමීම නිසා, OPEC+ රටවලට සිය නිෂ්පාදනයන් දැඩි ලෙස කප්පාදු කිරීමට සිදු විය. කෙසේ වෙතත්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති මසුද් පෙෂෙෂ්කියන් අතර පසුගිය ජූනි 17 දින අත්සන් තැබූ යුද්ධය අවසන් කිරීමේ අවබෝධතා ගිවිසුමෙන් පසු, මේ වන විට හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය යළි ආරම්භ වී ඇත.
එසේ වුවද, යුද්ධයට පෙර පැවති දෛනික නැව් ගමන් වාර 130ක මට්ටමට සාපේක්ෂව, වර්තමාන ගමනාගමනය තවමත් අඩු මට්ටමක පවතී. OPEC දත්තවලට අනුව, පෙබරවාරි මාසයේ දිනකට බැරල් මිලියන 42.77ක් ලෙස පැවති OPEC+ සමස්ත නිෂ්පාදනය, මැයි මාසය වන විට බැරල් මිලියන 33.13ක් දක්වා පහත වැටී තිබුණි.
මෙම තත්ත්වය පිළිබඳව අඛණ්ඩව අවධානයෙන් පසුවන බවත්, වෙළෙඳපොළ තත්ත්වයන් අනුව නිෂ්පාදනය වැඩි කිරීම, අත්හිටුවීම හෝ ආපසු හැරවීම සඳහා පූර්ණ නම්‍යශීලී බවක් පවත්වා ගන්නා බවත් එම සංවිධානය නිවේදනය කරයි. මෙම තත්ත්වය තවදුරටත් සමාලෝචනය කිරීම සඳහා අගෝස්තු 2 වන දින එම රටවල් යළි රැස් වීමට නියමිතය.
















