අක්ෂි සැත්කම්වලින් පසු ප්‍රෙඩ්නිසිලෝන් ඇසිටේට් (Prednisolone Acetate) ඖෂධය ලබා දීමෙන් පෙනීම අහිමි වූ තවත් රෝගීන් 4 දෙනෙකු සඳහා වන්දි ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව හිමි වී තිබේ. ඒ අනුව, අදාළ රෝගීන් සිව්දෙනාගෙන් එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් වන්දි ලබා දීමට තීරණය කර ඇත. 2023 මාර්තු 03 සහ මැයි 16 අතර කාලය තුළ, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම්වලට භාජනය වූ රෝගීන් කිහිප දෙනෙකුගේ පෙනීම අහිමි වීම හෝ දුර්වල වීම පිළිබඳ වාර්තා විය. මීට පෙර, එම රෝහලේදී අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වී දෘෂ්ටිය අහිමි වූ රෝගීන් 17 දෙනෙකු සඳහා දැනටමත් වන්දි ලබා දී තිබේ. මීට අමතරව, එම කාලසීමාව තුළ නුවරඑළිය රෝහල හැර අනෙකුත් රෝහල්වලදී ද එම ඖෂධය භාවිත කිරීම හේතුවෙන් අක්ෂි ආබාධයන්ට ලක්වූවන් හඳුනා ගැනීම සඳහා පත් කළ තාක්ෂණික කමිටුව විසින් මෙම රෝගීන් 4 දෙනා වන්දි ලබා දීමට සුදුසු අය ලෙස නිර්දේශ කර ඇත.
















