මීගමුව බන්ධනාගාරයේදී පසුගිය දින (06) ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීමට ගත් තීරණය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා විසින් අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී කරුණු පැහැදිලි කළේය.
බන්ධනාගාරය තුළ ඇති යකඩ දොර සහ ලෑලි දොර අතුරින් රැඳවියන් මුලින්ම යකඩ දොර කඩා බිඳ දමා ලෑලි දොර දෙසට පැමිණ තිබූ බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. එම ලෑලි දොරත් කඩාගෙන රැඳවියන් පිටතට පැමිණියේ නම් සිදුවිය හැකි විනාශය තක්සේරු කළ නොහැකි බවත්, එය බරපතල තත්ත්වයක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
රැඳවියන් අතර පැවති ගැටුම වළක්වා ගැනීමට සහ ඔවුන්ව බේරා ගැනීමට ගිය බන්ධනාගාර නිලධාරීන් විශාල පිරිසක් රැඳවියන් අතර කොටුවී පහරදීමට ලක්ව සිටි බව කොමසාරිස් ජනරාල්වරයා පවසයි. එම නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට සහ රැඳවියන් බන්ධනාගාරයෙන් පිටතට පලායාම වැළැක්වීමට තිබූ එකම පියවර ලෙස ලෑලි දොර අසල සිට මෙම වෙඩි තැබීම සිදු කර තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ බව ඔහු මෙහිදී පැහැදිලි කළේය.
















