ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබූ හිටපු ප්‍රවේගකාරී වේගපන්දු යවන ක්‍රීඩක ශාපූර් සද්රාන් (Shapoor Zadran) දරුණු අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 38 වැනි වියෙහි පසු වූ ඔහු, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්රිත ‘HLH’ නමැති දරුණු රෝගයකින් පෙළෙමින් සිටි අතර පසුගිය මාස කිහිපය පුරා ඉන්දියාවේ දිල්ලි නුවර රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
දශකයකට වැඩි කාලයක් ඇෆ්ගන් ජාතික කණ්ඩායම නියෝජනය කළ සද්රාන්, 2015 ලෝක කුසලාන තරගාවලියේදී ස්කොට්ලන්තයට එරෙහිව ඇෆ්ගනිස්තානය ලැබූ ඓතිහාසික පළමු ලෝක කුසලාන ජයග්‍රහණයේ ජයග්‍රාහී ලකුණ රැස් කළ ක්‍රීඩකයා ද වේ. වසර ගණනාවක් පුරා එරට වේගපන්දු බලඇණිය මෙහෙයවා 2025 ජනවාරි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් සද්රාන්ගේ අභාවය වෙනුවෙන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය (ACB) සිය බලවත් ශෝකය ප්‍රකාශ කර තිබේ.














