ජාතික ණය සුරැකුම් ආයතනය (NCGIL) සිය මෙහෙයුම් පුළුල් කරමින් කොළඹදී නව කාර්යාලයක් විවෘත කළේය. මෙම අවස්ථාවට එක්වෙමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළේ, පසුගිය මාස 15 තුළ ඇප රහිත ණය 2,000ක් ලබා දෙමින් මෙරට ව්‍යවසායකත්ව ක්ෂේත්රයේ නව පිබිදීමක් ඇති කිරීමට රජය සමත් වූ බවයි.
පසුගිය මාස 15 තුළ නිකුත් කළ 2,000 වැනි ඇපකර පත්‍රය මෙහිදී සංකේතාත්මකව ප්රදානය කෙරිණි. එමගින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට රුපියල් බිලියන 14කට අධික ණය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව උදා වී ඇත. ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහ මුදල් අමාත්‍යාංශයේ සහයෝගයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ අරමුණ ඇප නොමැති ව්‍යවසායකයින්ට මූල්‍ය ප්‍රවේශය ලබා දීමයි. වසර අවසානය වන විට ප්‍රතිලාභීන් සංඛ්‍යාව 4,000 දක්වා ඉහළ නැංවීමට ආයතනය අපේක්ෂා කරයි.
කාන්තා හිමිකාරිත්වය සහිත ව්‍යාපාර සඳහා මුළු ණය ප්‍රමාණයෙන් 20%ක් වෙන් කර ඇත. කෘෂිකර්මාන්තය, තොරතුරු තාක්ෂණය, සංචාරක කර්මාන්තය සහ අපනයන අංශ සඳහා 24%ක දායකත්වයක් හිමි වී තිබේ. වැඩිම ප්රතිලාභ බස්නාහිර, දකුණු සහ උතුරු පළාත්වල ව්‍යවසායකයින්ට ලැබී ඇත.
මෙරට මූල්‍ය ක්ෂේත්රය ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී සංවර්ධන බැංකුවක් සහ ශක්තිමත් සමුපකාර බැංකු පද්ධතියක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇතැයි නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, බැංකු ප්‍රධානීන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
















