සම්බුද්ධ දේශනාව යනු විශ්ව සත්‍යයක් බවත්, එය අභියෝගයට හෝ අවදානමට ලක් කිරීමේ හැකියාවක් කිසිවෙකුටත් නොමැති බවත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ මහනුවර බහිරවකන්ද ශ්‍රී මහා බෝධි මහා විහාරස්ථානයේදී යටවත්තේ ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ වෙත මධ්‍යම හා තදනුබද්ධ පළාත්හි උප ප්‍රධාන සංඝ නායක පදවිය පිළිබඳ අක්ත පත්‍රය ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.
බෞද්ධ දර්ශනයට සහ සම්බුද්ධ ශාසනයට ජාත්‍යන්තර මට්ටමින් බලපෑමක් හෝ අවදානමක් මතුව තිබෙන බවට විවිධ මත පළ වුවද, තමන් එය විශ්වාස නොකරන බව කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය. බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයේ ආලෝකය කිසිදු පාර්ශ්වයකට නිවා දැමිය නොහැකි බවත්, එය සදාකාලික සත්‍යයක් බවත් හෙතෙම කියා සිටියේය.
රජය අපේක්ෂා කරන ජාතික පුනරුදය සාක්ෂාත් කර ගැනීම සඳහා සමස්ත ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව කටයුතු කළ යුතු බව ද කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
උඩරට අමරපුර මහා නිකායේ මහානායක නිකපොත චන්ද්‍රජෝති නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා මහා සංඝරත්නය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
















